ජනපති සූමා මහජන මුදල් අවභාවිත චෝදනාවට වැරදිකරු

Published

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සූමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව එරට ඉහළම අධිකරණය විසින් තීන්දු කරනු ලැබ තිබේ.

අධිකරණය මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ ජනාධිපති ජේකබ් සූමා සිය පෞද්ගලික නිවාසය නවීකරණය කිරීම සඳහා රජයේ අරමුදල් වලින් ලබා ගත් මුදල් නැවත නොගෙවා සිටීම සම්බන්ධයෙන් සිදු කරන ලද විභාගයක දීයි.

ජනාධිපතිවරයා විසින් රජයේ මුදල් කොපමණ ප්‍රමාණයක් සිය පෞද්ගලික කාර්යයන් සඳහා වියදම් කර තිබේ දැයි වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණය රජයේ භාණ්ඩාගාරිකට දින හැටක කාලයක් ලබා දී තිබේ.

දකුණු අප්‍රිකාවේ විපක්ෂය ලද විශාල ජයග්‍රහණයක් ලෙස මෙම නඩු තීන්දුව සැලකිය හැකි අතර ජනාධිපති සූමාට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙන ඒමට ඔවුන් මෙය අවස්ථාවක් කර ගනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

'රටේ ජනතාවගේ මුදල්'

විපක්ෂය චෝදනා කරන්නේ ජනාධිපති ජේකබ් සූමා රටේ ජනතාවගේ මුදල් වලින් එළිමහන් රංග පීඨයක් සහ සුඛෝපභෝගී පිහිනුම් තටාකයක් එක් කරමින් සිය පෞද්ගලික නිවහන නවීකරණය කර ගැනීමට කටයුතු කළ බවටයි.

කෙසේ වෙතත් රාජ්‍ය මුදල් අවභාවිතය ඇතුළු තමාට ඉදිරිපත් වී ඇති සියලුම චෝදනා ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

2014 වසරේ දකුණු අප්‍රිකාවේ වංචා දූෂණ මැඩලීමේ ආයතනය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ජනාධිපති ජේකබ් සූමා සිය නිවස නවීකරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන විසිතුනක ප්‍රමාණයක් රජයේ මුදල් භාවිතා කර ඇති බවයි.