නේපාල අසරණයන්ට පිහිට වන ශ්රී ලංකා ජීවකයෝ
නේපාලයේ භූමිකම්පාවෙන් බරපතල තුවාල ලැබූ 15 කට අධික පිරිසකට ප්රතිකාර කළ බවත් එයින් පස්දෙනකු පමණ වැඩිදුර ප්රතිකාර පිණිස ඉක්මනින්ම අගනුවරට පිටත් කිරීමට නියමිත බවත් ශ්රී ලංකාවෙන් පිටත්ව ගොස් සිටින ආධාර කණ්ඩායම පවසයි.
ශල්ය වෛද්යවරයකු සහ තවත් වෛද්යවරුන් තිදෙනකුගෙන් සමන්විත රජයේ වෛද්ය කණ්ඩායම සමඟ හමුදා නිලධාරීන් 44 දෙනකු කත්මණ්ඩු අගනුවර සිට කිලෝමීටර 60 ක් ඈතින් පිහිටි දොලල්ගාඩ් නම් දුෂ්කර ගම්මානයේ කූඩාරම්වල රැඳී සිටිමින් නේපාල වැසියන්ට උපකාර කරමින් සිටිති.
හමුදා නිලධාරීන් පිරිසෙන් දෙදෙනකු වෛද්යවරුන් බවත්, තවත් 17 දෙනකු සෞඛ්ය අංශයේ නිලධාරීන් බවත් කණ්ඩායමේ නායක මේජර් ජනරාල් මෛත්රී ඩයස් බීබීසී සංදේශයට පැවසීය.
අනෙක් පිරිස හමුදා ඉංජිනේරු අංශයේ නිලධාරීන්.
'කොඳු නාරටිය බිඳිලා'
තමන් සිටින ස්ථානයේ සිට කිලෝමීටර් 12 ක දුරක් ගෙවා ගොස් කොඳු ඇට නාරටිය බිඳුණු කාන්තාවක රැගෙන විත් ප්රතිකාර කළ බවත් මේජර් ජනරාල්වරයා සඳහන් කළේය.

"මේ ප්රදේශය වටේම කඳුවලින් වටවෙලා තියෙන්නේ. ඔක්කොම ගෙවල් ඉරි තැලිලා. ගඟ අයිනේ ප්රදේශයක කූඩාරම් සාදා ගෙන තමයි අපි ඉන්නේ," මේජර් ජනරාල් මෛත්රී ඩයස් සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
"වෛද්ය ප්රතිකාර දෙන අයට තමා අපි කූඩාරම් යොදාගන්නේ. දැනට අපි එළියේ ඉන්නවා. දේශගුණය නම් සීතයි. සෙන්ටිග්රේඩ් 15 ක් විතර ඇති."
එම ප්රදේශයේ ජනතාවට ජල හිඟයක් පැවති නමුත් කණ්ඩායමේ සිටින ඉංජිනේරු අංශයේ නිලධාරීන් එම ජල නල පිළිසකර කළ බවත් ශ්රී ලංකා සහන කණ්ඩායමේ නායකයා සංදේශයට පැවසීය.
සුළු කම්පන
රෝගීන් ප්රවාහනය කිරීම පිණිස ප්රවාහන පහසුකම් සලසා ගන්නේ ශ්රී ලංකා ආණ්ඩුව විසින් ලබා දුන් මුදල් ගෙවා ප්රදේශයේ වාහන යොදා ගෙන බවත් ඔහු සඳහන් කළේය.
මේ මොහොතේත් ප්රදේශයේ පසු කම්පන හටගනිමින් පවතින බව පවසන මේජර් ජනරාල් මෛත්රී ඩයස්, ප්රදේශයේ තත්වය තරමක් හෝ යථා තත්වයට පත්වන තුරු සිය කණ්ඩායමට තවත් සති කිහිපයක් එහි රැඳී සිටීමට සිදු වනු ඇති බවත් කියා සිටියේය.
"ඊයේ ඉඳල මේ දක්වා සුළු කම්පන 7-8 ක් විතර අපි මුහුණ දුන්න. ඒ නිසා තාමත් ජනතාව ගෙවල්වලට යන්නෙත් නැහැ."
මියගිය ජනතාවගේ ආදාහනවලින් පසු ඔවුන්ගේ අළු දිගින් දිගටම ගඟේ පාකර හරිනු දක්නට ලැබෙන බවත් නේපාලයේ සිටින ශ්රී ලංකා ආධාර කණ්ඩායමේ නායකයා වැඩිදුරටත් පැවසීය.