වොල්ගග්‍රාද් නගරයේ තවත් ප්‍රහාරයක්

රට තුළ ආරක්ෂාව තර කරන මෙන් ජනාධිපති පුතින් නියෝග කර ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, රට තුළ ආරක්ෂාව තර කරන මෙන් ජනාධිපති පුතින් නියෝග කර ඇත.
Published

ඊයේ,ඉරිදා බෝම්බ ප්‍රහාරයකට මුහුණ දුන් වොල්ගග්‍රාද් නගරය එම පළමු ප්‍රහාරයෙන් පැය විසි හතරක් ඉකුත් වීමට පෙර තවත් බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ බව රුසියාවෙන් වාර්තා වෙයි.

එය මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වන බවයි,රුසියාවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

සඳුදා උදෑසන වොල්ගග්‍රාද් නගරය ඉතා ම කාර්ය බහුල තත්වයක පවතිද්දී ට්‍රොලි බස් රථයක එල්ල කෙරුණ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බස් රථය සහමුලින්ම මෙන් විනාශ වී ඇති අතර එම දර්ශනය දුටු ජනතාව පවසන්නේ මළ සිරුරු තැනින් තැන වැතිර තිබෙනු දක්නට ලැබුණ බවයි.

ඉරිදා වොල්ගග්‍රාද් නුවර දුම්රිය ස්ථානයේ එල්ල වූ ප්‍රහාරයෙන් දාහත් දෙනකු මරු මුවට පත් වූ අතර, තවත් විශාල පිරිසකට තුවාල සිදු විය.

‘සෝචි’ හිම ක්‍රීඩා

මෙවර ඔලිම්පික් හිම ක්‍රීඩා ලබන වසරේ කළු මුහුද ආසන්නයේ 'සෝචි' නගරයේ පැවැත්වීමට නියමිත ව පවතින අතරවාරයේ එල්ල කෙරුණ ඉහත කී බෝම්බ ප්‍රහාර දෙක සමඟ රුසියාව තුළ පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් මැසිවිලි පළ වීමට පටන් ගෙන ඇති බවත් වාර්තා මගින් පැවසෙයි.

එම තත්වය හමුවේ, විශේෂයෙන්ම වොල්ගග්‍රාද් නගරය ද ඇතුළුව රට තුළ ආරක්ෂාව තර කරන මෙන් ජනාධිපති ව්ලදිමීර් පුතින් විසින් නියෝග කරනු ලැබ ඇත.

මේ අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රකාශිකාවක් අදහස් දක්වමින්, සෝචි හිම ක්‍රීඩා සඳහා අවශ්‍ය ආරක්ෂාව රුසියානු බලධාරීන් විසින් සහතික කරනු ලැබීම සම්බන්ධයෙන් සැකයක් නොමැති බවයි කියා සිටියේ.