ෂූමාකර් ගේ සෞඛ්‍ය තත්වයේ 'සුළු වර්ධනයක්'

Published

ඊයේ රාත්‍රියේ සිදුකල සැත්කමින් පසු මෝටර් රථ ධාවනයේ ලෝක ශූර මයිකල් ෂූමාකර් ගේ සෞඛ්‍ය තත්වයේ සුළු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව වෛද්‍යවරු පවසති.

කෙසේ නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්වය තවමත් අනතුරුදායක මට්ටමින් මිදී නැති බවයි ප්‍රංශයේ ග්රෙනෝබල් හි රෝහලේ ෂූමාකර්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායම දන්වා සිටියේ.

ඊයේ රාත්‍රිය රෝහලේ ගත කළ ෂූමාකර් ගේ පවුලේ උදවිය ගේ අවසරය ලබා ගැනීමෙන් අනතුරුවයි ඉහත කී මොළයේ සැත්කම සිදු කර ඇත්තේ.

පසු ගිය ඉරිදා ප්‍රංශයේ ඇල්ප්ස් කඳු වැටියේ හිම ක්‍රීඩා කරමින් සිටියදී සිදුවූ අනතුරේදී මයිකල් ෂූමාකර් ගේ හිස ගලක වැදීම නිසා මොළයට හානි සිදුවී රෝහල් ගත කෙරුණි.

මයිකල් ෂූමාකර් හත් වතාවක් ෆෝමියුලා 1ධාවනයේ ලෝක ශුරයා බවට පත් විය.