සමලිංගිකයන් කෙරෙහි අගතියක් නෑ - පූතින්

'සමහර සමලිංගිකයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන්, මම සම්මාන ප්‍රදානය කරලත් තියෙනව'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'සමහර සමලිංගිකයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන්, මම සම්මාන ප්‍රදානය කරලත් තියෙනව'
Published

සමලිංගිකයන් කෙරෙහි තමන් කිසිදු අගතියකින් කටයුතු නොකරන බව රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් බීබීසී යට කියා සිටියේය.

ලබන මාසයේ සෝචි නුවර පැවැත්වීමට නියමිත හිම ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සම්බන්ධව ජනාධිපති පූතින් බීබීසීය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් විය.

වයස දහ අටට අඩු දරුවන්ට සමලිංගිකත්වය සම්බන්ධ තොරතුරු ලබා දෙන ඕනෑම පුද්ගලයකුට දඩ මුදලක් නියම කිරීමට අවසර දෙන පනතකට පසුගියදා රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වීම පිළිබඳව ඔහුගේ මතය විමසූ අවස්ථාවේදීයි, ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ.

"ඔබ අහන්නේ මගේ පුද්ගලික මතය නම්, කෙනෙකුගේ ලිංගිකත්වය කුමක්ද කියන එක මට වැදගත් නෑ, සමහර සමලිංගිකයන් මම අඳුරනවා, අපි බොහොම මිත්‍රශීලීව කටයුතු කරනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

"මේ රටේ සමහර සමලිංගිකයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන්, ඔවුන්ගේ ලිංගිකත්වය විමසා බලන්නේ නැතිව මම සම්මාන ප්‍රදානය කරලත් තියෙනව."

පසුගිය ජුනි මාසයේ සමලිංගිකයන් සම්බන්ධ නීතිය සම්මත කරනු ලැබීමෙන් අනතුරුව, සෝචි නුවර හිම ක්‍රීඩා වර්ජනය කරන මෙන් මානව හිමිකම් ක්‍රියාධරයෝ ඉල්ලා සිටිති.